Followers

Showing posts with label මගේ විත්ති. Show all posts
Showing posts with label මගේ විත්ති. Show all posts

Wednesday, March 27, 2013

මේ මගේ විසි හතර වෙනි උපන්දිනයයි


අදට හරියටම අවුරුදු 24 කට පෙර අද වැනිම දිනෙක කාසල් වීදියේ කාන්තා මහා රෝහල ඉදිරිපිට අපේක්ෂාවෙන් කල් මරණ තාරුන්යයකි.දහසක් අවිනිශ්චිත හැගුම් , බලොපොරොත්තු සිසිල් අලියා බීම බෝතලයක දිය කොට ගෙන්දගම් බොරැල්ල අහස දෙස ඔහු බලා උනි . හැන්දෑවේ 5.30 ට පමණ රෝස පාට  පැනල් රෙද්දක ඔතා තම අතට ලද සිගිත්තිය ඉනික්බිති ඔහුගේ හද ගැස්ම විය . .
ගෙදරක ඉහලින්  නැගෙන දුමාරය  එහි ඉදෙන නැවුම් බතක නිමිත්තක්ම නොවූ භීෂණ සමයකි එය . ටයර් සෑ වල දැවී යන පුළුටු මිනී ගදින් සිත් සතන් ගිනි ඇවිලුණු එසමයේ කුස තුල වැඩෙන කිරි කැටියාව අපමණ සෙනෙහසින් දරා උන් ගැහැනියක විය .පාපතර ලොවක් නමින් නැගෙන සුසුමකින් පවා කුස තුල වැඩෙන බිලිදියව කිලිටි වන්නට නොදී   රැකගත් දයාබර අම්මාය ඇය.



රෝහලේ සිට ම ගෙදර ගෙන එන මග දිගට දහසක් පිරිත් මුමුනමින් ආච්චි මා  තුරුළු  කරගෙන එන්නට ඇති . රටක් රාජ්‍යක් ලැබුණා සේ පස් වනක්  ප්‍රීතියෙන් උදම් වී සිටි සීයා  කී වතාවක් නම් මගේ අත්  පා  සිප ගන්නට ඇද්ද ? ලෙච්චමී මා පිළිගන්නට මග බලා ඉන්නට ඇති !! මා වෙනුවෙන් මුරුගන්  කෝවිලට භාර වී ගිනි අගුරු මත නටා ඇවිදිමින් ඈ මා නමින් දෙවියන් පුදන්නට ඇති .නළලේ තිලක තියන පවට මිනිසුන්ට ජීවිතයෙන් වන්දි ගෙවන්නට වූ සමයකි එය , එහෙව් කලෙක පවා ඒ හදවතේ  මා නමින් වුනු අපමණ සෙනෙහස මට නොලි කවි දහසකි  .ආදරයට සීමා මායිම්  කුල මල නොතරම් බව හදුනන මිනිසුන්ගේ සිත් වල දෙවියන් වැඩ හිදින බව කියා දුන් ගැහැණිය ඇය ය. දිනයක් සුබ අසුබ වන්නේ නැත .උපන්දිනය ගැන කියනු කීම . සුබ වන්නේ සුන්දර සරල මිනිසුන් ඇසුරේ ගෙවෙන ජීවිතයයි , මේ දුවන ගමනේ හති වැටෙන මොහොතක මගේ කියා කියාගෙන කෑ ගසාගෙන සොයා යන්නට යමක් වේනම් ඒ එදා සිට ඒ සොදුරු මිනිසුන් මට පිදු නිකැළැල් සෙනෙහසය . ඒ සෙනෙහස නමින් මේ එක් කල සුභ පැතුම් වලට ඔබට පින් !!!!!

Monday, March 25, 2013

"ස්වයන්ජාතව සිතේ මතු වන නැවුම් සිතිවිල්ලක්ද ප්‍රේමය____ලේ නහර ඇට මිදුළු විනිවිද රිදුම් දෙන හැගුමක්ද ප්‍රේමය "









Sunday, March 24, 2013

ඉස්සෝ වඩේ සමගින් ප්‍රේමය









ආදරය සහ මුහුදු වෙරල අතර ඇත්තේ අපුරු සබදකමකි ,ඒ කුමක් නිසාදයි විටෙක මම විපිළිසර වෙමි .එහෙත් අද සැදෑ වරුවේ මට සිතුනේ වෙසෙසකි . හිරිමල් යවුවනියකගේ සිතට අහම්බෙන් මෙන් ගොඩ වැදී තුන් සිතම හිරි වට්ටන පිරිමි රුව කවරක් සදිසිද?? .වෙරල සිවු කොන සිසාරා නෙත යවමි . පරිප්පු වඩයක මදක් බැදුණු අමු ලුණු කෑලිද ,කර කල සැර රතු මිරිස් මතින් ,දෙකම්මුල් කිතිකවන තක්කාලි පෙත්තක මිහිරියාව කැටි කල ඉස්සෝ වඩේ !!!!!

සමා වනු මැනවි ,,, සැබවින්ම ඔහු එසේ නොවන්නේද ?

ගුමු ගුමුව වදුලේ- - සිලි සිලිය සුළගේමුණු මුනුව නදියේ- කසු කුසුව ගගුලේ - -අදයි මට ඇසුණේ


රසම රස වඩේ අහංකාර කමින් වැඩිය, අත් කරත්තෙක විරාජමානව වැඩ හිදිමින් මේ තරම් නම් ඔච්චම් පාන්නේ මොකටද ?කල් යල් බලා තමන් සතු කර ගත් වඩේ පාර් සලය රස විදින්නට දැන් වෙලාවයි.. ඊට පළමුව ඔබට අවැසි වන්නේ මුහුදු රල මත සිත සතපවා ක්ෂිතිජය වෙතටද ඉන් එහාටද චාරිකා කරන්නටය , ඉනික්බිති රස විදින්න ප්‍රේමය සමගින් ඉස්සෝ වඩේ.. .



"අපි ඇතින් ඇතට පා නගලා ගණ වනන්තරේ -අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ"
ඉමිහිරි දෙහි සුවදට මුසුව එන කොච්චි කරලක සැර ආග්‍රහණය කැටි කල ලුණු මිරිස හා පදමට කර වුනු වඩේ වන් සුමිහිරි සුසංයෝගයක් වෙනත් කොයින්ද ??අමු ලුණු පෙත්තක් රස විදින තර අනපේක්ෂිතව රතු මිරිස් කරලක් සැපෙයි , එවිට සියුම් කදුළු පටකින් නෙත් කෙවෙනි වැසී යයි , දැන් වඩේ කෑම එපා වෙයි ....එහෙත් සැබවින්ම සිදුවන්නේ ඔබ තවත් එයට ආදරය කිරීම පමණි .
"ජීවිතේ කවියක්- ආදරේ එහි සොදුරුතම වදනක් කදුලැලි බිදක්
හසරැලි පොදක්- එකට එක්වූ විට දැනේ පෙර නොවිදි රසයක්"

බිදෙන් බිද සිත තුල ආශ්වාදය නලියමින් සිවුම් සන්වෙදනවකින් ඔබේ
ගත කිලි පොළ යයි. මෙතෙක් ඔබ පය ගසන්නට මැලි උන හදවතේ ගුප්ත ඉසවුවක් සැනින් ආලෝකවත්ව දිස්වෙනු දකියි . හදවතේ සිවුම් ස්ථානයන් කම්පිතව අතිශය තීව්‍ර භාවමය ප්‍රකම්පනයකට ඔබ නතු වෙයි. සිවුම් සැතකින් කේශනාලික පසාරු කරන කලක මෙන් වේදනාවකින් ගත වෙලී යයි .සක්වල එතෙරටද , කිරි මුහුද කලබාවා මහමෙර සසල වනු රිසින් කෑ ගසා පවසන්නට යමක් ඔබට ඇත , එහෙත් සිවුම් කෙදිරිල්ලකටදු අවකාශ නැත .
"රල පෙළක් හැඩවෙන තැනක් ඔබ මදු විතක් උතුරන තැනක් .....
මේ විශ්වයේ මා දකින්නේ ඔබම පමණයි"

"චරස්" හදිසියේම ඇබුල් රසකින් හැපුන තක්කාලි පෙත්තක් නිසා දෙකම්මුල හිරි වැටෙයි .ලුණු මිරිස් බිදක් ගෙන දිවේ ගා ගන්න .දැන් අමු මාලූ මිරිස් වලල්ලක් ගෙන සපන්න , එහි හදිසි තිත්ත රසයෙන් මුව විලම්බීත වෙයි . එහෙත් මීලග කට වඩාත් රසවත් වනු ඇතැයි බලාපොරොත්තුවකකින් ඔබ සැනසෙයි ,ප්‍රේමය යනු එවන් සැනසීමක්ද?



"පසළොස්වක සද පායනු වැන් නේ -සොදුරු කිදුරු රුව ආල වඩන්නේ
සිතුම් පැතුම් ඉටු වේවිද මන්ද -පුරුවේ කල -පිං අපට කොයින්දා"

ඔබට ඇසෙනවාද කරස් යන හඩින් වඩේ සැපෙන හඩ , ඔහුගේ ලය මත හිස හොවා ඒ ගැස්මට සවන් දෙන්න ඒ හද උණුසුම් යයි ඔබට හැගෙනවාද , ඔබත් මාත් ඒ හඩත් හැර මුළු ලොවම මොහොතකට නිසල
වෙනවානම්;

"සිනහ වේවි අපි නැටුවට පොළොවට වෙහෙස දැනෙනවාද
කදුලැලි දහදිය හෙලුවට මහා කළු ගල්දිය වෙනවාද
එනමුදු ඔබගේ බැල්මට කගේ හදවත වාවයිද
හිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද "

Saturday, March 23, 2013

නැවුම් සුවදකි එය ... එදා මෙන් සිත නළවන






එදවස මගේ සිහිනලන්තය වුයේ සීතලම සීතල රුසියාවයි .අම්මයි අප්පච්චියි මැදට වී නිදා ගන්නට තැත් කරන මට මගේ සිහිනලන්තය එහි ඇවිදින්නට ඇරයුම් කරයි . නිදි යහන මත මගේ දෙපා සතපවා මම ඒ සොදුරු තණ පිටි මතින් ඇවිද යමි.
නිල්ම නිල් පාට ගංගාවක් ලග සුදු පාට බිරියෝසා ගහක් !!!! එඩේරෙක් එතන ඉදගෙන ලස්සන ගීයක් ගයනවා , ඒ හඩ කොච්චර ලස්සනද කියනවනම් ඉර නටනවා , වලාකුළු නටනවා , එක පාරටම රන් කෙදි තියෙන අශ්වයා ඇවිත් මාව පිටේ තියාගෙන දුවනවා ,මහ කදු උඩින් එක පිම්මට පනිනවා, එක හුස්මට මහා අදුරු මුකලන් කැළෑවකට ඇතුල් වෙනවා , කුකුළු අඩුවක් උඩ තියෙන , ගේ වටේ වැට ඉනි වලට මිනී ඔලු ගහපු ගෙයක් ගාව ඌ නවතිනවා .ඒ තමයි බාබයිග යකින්නගේ ගෙදර !!!!
පොරෝනය යටින් ගුලි වී අප්පච්චිගේ බාහුවක් මම තදින් බදා ගමි .දැන් දැන් ඇය වංගෙඩියක් මත නැගී කොස්සකින් පාර අතු ගාමින් එනු ඇතැයි සිතා , අමාරුවෙන් අප්පච්චිගේ බඩ උඩට නැග ගමි .ෆැන්ටසියක අතරමන් වූ මගේ ළමා වියේ සිහිනයක් නොවූ එකම යතාර්තවාදී චරිතය ඔහුය,ඒ ආදරය බාබයිගා යකින්නට තිය ඉදි කටු තුඩක පන තියෙන කසෙයි රක්ෂයාට වත් උදුරා ගන්නට බැරි බව එදවස පටන්ම මා ඇදහූ සත්‍යක් විය .
කොලබ සරසවියේ විසල් පොත් ගුල තුලදී මගේ සිහින ළමාවිය ඔපවත් කල ඒ සොදුරු රුසියන් වීරයන් අහම්බෙන් මෙන් මට හමු වින ,එහෙත් අද ඔවුන් තුලින් හමන්නේ පෙර පුරුදු චමත්කාරජනක මනෝ රාජ්‍යක සුවද නොව , මන මෝහනීය විශ්වීය යථාර්තයක උතුරු ගුණ සුවදයි !!! " අනේ මගේ රාජාලියෝ මගේ දිහා බලන්නකෝ , මව තුරුළු කර ගන්නකො " මයුර්ෂ්කගේ උණු කදුළු වැටී රාජාලියට පන එයි , මිනිසුන් බිය වී සිහිසන් වන තරම් බියකරු රුවක් ඇති රකුසෙකු ආදරණීය හාදුවකින් ලස්සන කුමරකු වෙයි .කැතම කැත ගද ගහන ගෙම්බෙකු කුමාරයෙකු වන්නේද ආදරණීය හාදුවකිනි .මිහිදන් කල හදවතක් උණුසුම් ප්‍රේමනීය කදුළු බිදකින් පුනර්ජීවනය ලබයි .
සෑම මිනිසෙකු තුලම ඉදින් ගද ගහන කැත ගෙම්බකු ,බිහිසුණු රකුසකු,ගල් ගැසුණු සාපලත් හදවතක් ජීවත් වෙනවා නොවේද !ඔවුන්ද නොදන්නා හදවතේ එක් ගුප්ත ඉසවුවක එක් ප්‍රේමනීය චුම්බනයකට පමණක්ම අවදි කල හැකි ලස්සන කුමාරයෙකු ජීවත් වෙනු ඇත.ඒ වෙනුවෙන් යකඩ හැරමිටි හතක් ගෙවෙනකන් , යකඩ සපත්තු හතක් ගෙවෙනකන් ඇවිදයන්නට තරම් කැප වුනු ප්‍රේමයකට පමණක් සාපලත් නිද්‍රවකින් ඒ හදවත අවදී කල හැක!මනුෂත්වයේ අදුරු සේයාවන් හමුවේ පලා යන්නට නොව , අදුර පලවා හරින පහන් සිළුවක් දල්වන්නටද මතු නොව ප්‍රේමයෙන් විශ්වයම සුවපත් කරවන්නට කමටහන් දෙන රුසියන් සුරංගනා කතා වලට එදාටද වැඩියෙන් අද මම ප්‍රේම කරමි .