Followers

Saturday, March 23, 2013

නැවුම් සුවදකි එය ... එදා මෙන් සිත නළවන






එදවස මගේ සිහිනලන්තය වුයේ සීතලම සීතල රුසියාවයි .අම්මයි අප්පච්චියි මැදට වී නිදා ගන්නට තැත් කරන මට මගේ සිහිනලන්තය එහි ඇවිදින්නට ඇරයුම් කරයි . නිදි යහන මත මගේ දෙපා සතපවා මම ඒ සොදුරු තණ පිටි මතින් ඇවිද යමි.
නිල්ම නිල් පාට ගංගාවක් ලග සුදු පාට බිරියෝසා ගහක් !!!! එඩේරෙක් එතන ඉදගෙන ලස්සන ගීයක් ගයනවා , ඒ හඩ කොච්චර ලස්සනද කියනවනම් ඉර නටනවා , වලාකුළු නටනවා , එක පාරටම රන් කෙදි තියෙන අශ්වයා ඇවිත් මාව පිටේ තියාගෙන දුවනවා ,මහ කදු උඩින් එක පිම්මට පනිනවා, එක හුස්මට මහා අදුරු මුකලන් කැළෑවකට ඇතුල් වෙනවා , කුකුළු අඩුවක් උඩ තියෙන , ගේ වටේ වැට ඉනි වලට මිනී ඔලු ගහපු ගෙයක් ගාව ඌ නවතිනවා .ඒ තමයි බාබයිග යකින්නගේ ගෙදර !!!!
පොරෝනය යටින් ගුලි වී අප්පච්චිගේ බාහුවක් මම තදින් බදා ගමි .දැන් දැන් ඇය වංගෙඩියක් මත නැගී කොස්සකින් පාර අතු ගාමින් එනු ඇතැයි සිතා , අමාරුවෙන් අප්පච්චිගේ බඩ උඩට නැග ගමි .ෆැන්ටසියක අතරමන් වූ මගේ ළමා වියේ සිහිනයක් නොවූ එකම යතාර්තවාදී චරිතය ඔහුය,ඒ ආදරය බාබයිගා යකින්නට තිය ඉදි කටු තුඩක පන තියෙන කසෙයි රක්ෂයාට වත් උදුරා ගන්නට බැරි බව එදවස පටන්ම මා ඇදහූ සත්‍යක් විය .
කොලබ සරසවියේ විසල් පොත් ගුල තුලදී මගේ සිහින ළමාවිය ඔපවත් කල ඒ සොදුරු රුසියන් වීරයන් අහම්බෙන් මෙන් මට හමු වින ,එහෙත් අද ඔවුන් තුලින් හමන්නේ පෙර පුරුදු චමත්කාරජනක මනෝ රාජ්‍යක සුවද නොව , මන මෝහනීය විශ්වීය යථාර්තයක උතුරු ගුණ සුවදයි !!! " අනේ මගේ රාජාලියෝ මගේ දිහා බලන්නකෝ , මව තුරුළු කර ගන්නකො " මයුර්ෂ්කගේ උණු කදුළු වැටී රාජාලියට පන එයි , මිනිසුන් බිය වී සිහිසන් වන තරම් බියකරු රුවක් ඇති රකුසෙකු ආදරණීය හාදුවකින් ලස්සන කුමරකු වෙයි .කැතම කැත ගද ගහන ගෙම්බෙකු කුමාරයෙකු වන්නේද ආදරණීය හාදුවකිනි .මිහිදන් කල හදවතක් උණුසුම් ප්‍රේමනීය කදුළු බිදකින් පුනර්ජීවනය ලබයි .
සෑම මිනිසෙකු තුලම ඉදින් ගද ගහන කැත ගෙම්බකු ,බිහිසුණු රකුසකු,ගල් ගැසුණු සාපලත් හදවතක් ජීවත් වෙනවා නොවේද !ඔවුන්ද නොදන්නා හදවතේ එක් ගුප්ත ඉසවුවක එක් ප්‍රේමනීය චුම්බනයකට පමණක්ම අවදි කල හැකි ලස්සන කුමාරයෙකු ජීවත් වෙනු ඇත.ඒ වෙනුවෙන් යකඩ හැරමිටි හතක් ගෙවෙනකන් , යකඩ සපත්තු හතක් ගෙවෙනකන් ඇවිදයන්නට තරම් කැප වුනු ප්‍රේමයකට පමණක් සාපලත් නිද්‍රවකින් ඒ හදවත අවදී කල හැක!මනුෂත්වයේ අදුරු සේයාවන් හමුවේ පලා යන්නට නොව , අදුර පලවා හරින පහන් සිළුවක් දල්වන්නටද මතු නොව ප්‍රේමයෙන් විශ්වයම සුවපත් කරවන්නට කමටහන් දෙන රුසියන් සුරංගනා කතා වලට එදාටද වැඩියෙන් අද මම ප්‍රේම කරමි .

6 comments:

  1. මට ගෙඹි කුමාරයාගේ කතාව මතක් වුනා :)
    අපුරුයි ලස්සනයි නියම ෆැන්ටසියක් :)

    ReplyDelete
  2. තුති ඔබට දහස් වාරයක් ,
    ඔබේ දිරි ගැන්වීම් වලට

    ReplyDelete
  3. මොකද දන්නෑ ඔය ගෙම්බා ඉම්බහම විතරක්ම කුමාරයා වෙන්නෙ නෙහ්? ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රුසියාව වගේ රටවල සංස්කෘතියේ හාදුවකින් ආදරය තමා සංකේතවත් වෙන්නේ ,
      තමන්ට ඕනි දෙයක් හිතා ගත්තත් වරදක් නෑ රජතුමනි !!
      සැරදේවා!!!!!!!!!!!!

      Delete
  4. ඉස්සර ගොඩක් ආසාවෙන් කියෙව්ව රුසියන් පරිවර්ථන මතක් වුණා..
    අතීතයෙන් වර්ථමාණයට.. ලස්සන සටහනක්..
    සුබ පැතුම් දිගු ගමනකට..!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට
      මගේ පලමු සටහනට දිරි වදනක් එක් කලාට
      ආයෙත් වතාවක් ඇවිත් යන්න එන්න!!!!!!!!!!

      Delete